
අහස පොලොව මැවූ සියලු බලැති දෙවි පියාණන් කෙරෙහිද, උන්වහන්සේගේ එකම පුත්‍ර වූ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ගැබබැස කන්‍යා මරියාවන්ගෙන් උපන් සේක. පොන්සියෝ පිලාත් යටතේ වද විද කුරුසියේ ඇණ ගැසුම් කා උකුත් වී තැන්පත් කරනු ලැබූ සේක. පාතාලයට බැස තුන්වැනිදා මළවුන් කෙරෙන් නැගිට වදාරා, ස්වර්ගයට නැගී, සියලු බලැති දෙවිපියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. එහි සිට ජිවතුන්ද, මළවුන්ද විනිශ්චය කරන්නට නැවත වඩින සේක. ශුද්ධාත්මයාණන් කෙරෙහිද, ශුද්ධවූ කතෝලික සභාව කෙරෙහිද, සාන්තුවරයන්ගේ සහභාගිත්වය කෙරෙහිද, පාප ක්ෂමාව කෙරෙහිද, මළවුන්ගේ නැවත නැගිටීම කෙරෙහිද, මතු පැමිණෙන සදා ජීවිතය කෙරෙහිද, විශ්වාස කරමි. ආමෙන්
ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කල මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද අපට කමා කල මැනව. පාප අවස්ථා වලට අසුවීමට අපට ඉඩ නොදී, අයහපතින් අප මුදා ගත මැනව. ආමෙන්
මාගේ දෙවියනි මා ඔබ වහන්සේට අනදර කල නිසා බොහෝ සේ වික්ෂෝප වෙමි. මාගේ පාප වලින් මා සදාකාල නිරගින්නට හිමි වූ හෙහින්ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තු ස්වාමි දරුවන් කුරුසියේ ඇණ ගැසූ හෙයින්ද විශේෂ කොට සර්වදයා යහපත්කම් ඇත්තාවූ ඔබට අනදරකළ හෙයින්ද සියලු දේට වඩා මම ඒවාට වෛර කරමි. මා කළ පාපවලට මාගේ මුළු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පව් නොකර සිටින්නටත් පව් ප්‍රස්ථා වලින් වැලකි සිටින්නටත් ඒකාන්තයෙන් පොරොන්දු වෙමි. ආමෙන්.
භාග්‍යවන්ත ශු. ජුසේ මුනින්ද්‍රයෙනි, අපේ අමාරුකම්වලදී ඔබ වෙත හැරී ඇවිත් සිටිමු. අප ඔබගේ සුවිශුද්ධ ප්‍රිය කාන්තාව වන දේවමෑණියන් වහන්සේගේ පිහිට ඉල්ලුවයින් පසු ඔබගේ ආරක්ෂා පිහිටත් විශ්වාසයෙන් ඉල්ලා සිටිමු. දේවමාතා වන නිර්දෝෂ කන්‍යා මරිය තුමිය වෙත ඔබ බැදී සිටින ප්‍රේමයද , දිව්‍ය බිළිදාවන ජේසු ස්වාමිදරුවන් කෙරෙහි ඔබ තැබූ පියකරු ස්නේහයද බලා ජේසුස් ක්‍රිස්තු ස්වාමින් වහන්සේ තමන්වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් අපට සම්පාදනය කළාවූ මෝක්ෂ උරුමය ලබා ගන්නටත්, අපේ ඕනෑකම්වලදී ඔබගේ වල්ලභයෙනුත් ආධාරයෙනුත් පිහිට වනන්ට අපි ඔබට කන්නලව් කියා ඉල්ලා සිටිමු.
දිව්‍ය පවුලේ අතිප්‍රඥාවන්ත රැකවල් පියාණෙනි! ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ තෝරාගනු ලැබූ ජනයන් ආරක්ෂා කළ මැනව. අති ප්‍රේමවන්ත පියාණනි! මුළාව යාමේද, දුෂ්‍ය කිරීමේද සියලු දෝෂ වලින් අප ආරක්ෂා කරනවා සොදේ. අති වල්ලභවූ අපගේ පියාණනි! අන්ධකාරයේ වල්ලභවූ සතුරන්ගේ සටනෙහි ඔබ පරමණ්ඩලයේ සිට අපට පිහිට වෙනවා සොදේ. පුර්වයෙහි ඔබ දිව්‍ය බිලිදාවන ජේසු ස්වාමිදරුවන්ගේ ජීවිතය භයානක මරණයේ අන්තරාවලින් ගලවාගත්තාක් මෙන් දැනුත් සතුරන්ගේ උපයවලිනුත් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ සභාව රක්ෂාකරන්නටත්, ඔබගේ ආදර්ශය ලෙස ශුද්ධව ජීවත්වෙන්නටත්, භක්තිවන්ත ලෙස මැරෙන්නටත්, සදාකාලික මෝක්ෂ සුගතිය ලබාගන්නටත් අපට පුළුවන් වෙන සැටියට නිතරම අපෙන් එක එකාට පිහිටාධාරවී වදාරනවා සොදේ. ආමේන්.
අතී ප්‍රේමණීය වූ ජේසුනි! මේ ලෝකයේ ඔබවහන්සේ විසින් තෝරාගත් ශුද්ධවූ පවුල ඔබවහන්සේගේ අත්‍යන්ත ධර්මගුණ ක්‍රියාවලිනුත්, ගෘහස්ත ජීවිතයේ ආදර්ශයෙනුත් ශුද්ධකර වදාළ වේද? ඔබවහන්සේට කන්නලව් කියා ඔබගේ ශ්‍රී පාද පද්මයෙහි ශෂ්ටාංගයෙන් වැද වැටී සිටින මේ අපේ පවුල වෙත කරුණා බැල්මලා වදාරණවා සොදේ. මෙම පවුල විශේෂ ගෞරවාචාර ලෙස ඔබවහන්සේට අපව බාර කල නිසාත්, කැපකළ නිසාත්, ඔබවහන්සේට අයිති බව මතක්කර වදාරණවා සොදේ.
මේ ලෝකයෙහි ඔබ වහන්සේට විශ්වාසයෙන්ද , ප්‍රේමයෙන්ද යුක්තව ගැතිකම් කළායින් පසු මෝක්ෂ රාජ්‍යයෙහි සදාකල්හි ස්තුති ප්‍රශංසා කරන්නට හැකිවන හැටියට අපේ පවුල ආරක්ෂා කරන්නටත්, අන්තරාවලින් ගලවාගන්නටත්, ඕනෑකම්වලදී ඊට පිහිටවෙන්නටත්, ඔබගේ ශු. පවුලේ ආදර්ශය අත්නෑර අනුසාර කිරීමට වරප්‍රසාදය දෙන්නටත් කරුණා කළ මැනව.
අතී අමෘතබර වූ මාතාවන කන්‍යාමරිය තුමෙනි! ඔබවහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන් ඔබගේ යාච්ඤාවලට ඇහුම්කන්දී වදාරණ බව අපි දනිමු. එබැවින් ඔබගේ මධ්‍යස්ථකම උදක්ම ඉල්ලා සිටිමු.
අතී මහිම ප්‍රතාප වූ ශු. ජුසේ මුනින්ද්‍රයෙනි! ඔබත් ඔබගේ වල්ලභ වූ මැදහත්කමින් අපට පිහිටවී කන්‍යාමරිය තුමියගේ හස්තවලින් අපේ යාච්ඤා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිදරුවන්ට පූජාකළ මැනව. ආමෙන්.
ජේසුස්, මරිය, ජුසේ අප ආලෝක කරන්නටත්, අපට පිහිට වෙන්නටත්, අප ගලවාගන්නටත් කරුණා කළ මැනව.
අති අමෘතබරවූ ජේසුනි, මනුෂ්‍ය ජාතීන්ගේ ගැලවුම් කාරයාණනි, ඔබගේ පූජාසනය හමුවෙහි බැගෑපත්ව වැඳ වැටී සිටින අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අපි ඔබට අයිති වෙමු. සැම කල්හිත් අපි ඔබට අයිති වෙන්නට කැමැත්තෙමු. තවද ඔබ හා සමඟ වඩා ස්ථීරව එකඟ වෙන පිණිස අද දින දී ස්වකීය කැමැත්තෙන්ම අපෙන් එක එකා ඔබගේ දිව්‍ය හෘදයට තම තමා කැප කරයි.
බොහෝ ජනයෝ කවර කලෙකවත් ඔබ ඇඳින නොගත්තෝය. බොහෝ දෙනාද ඔබගේ පණත් හෙලා දැක ඔබ ප්‍රතික්ෂේප කළෝය. අති දයාබර ජේසුනි, ඔවුන් සමස්තයන්ට ඔබ දයානුකම්පා වී ඔබගේ දිව්‍ය හෘදය කරා ඔවුන් ගෙන්වා වදාළ මැනව.
ස්වාමිනි කොයි කලකදීවත් ඔබ ගෙන් ඉවත්ව නොගිය විශ්වාසකයින්ට පමණක් නොව ඔබට පිටුපා ගීය අකීකරු දරුවන්ටත් ඔබ රජාණන් වන සේක්වා. ඔවුන් කාලකන්ණි කමින් ද, සාගින්නෙන්ද විනාශ නොවන සැටියට ස්වකීය දෙවිපියාණන්ගේ ගෘහයට වහාම නැවත හැරී එන මෙන් කරුණා කළමැනව.
වැරදි මතවලින් රවටනු ලැබූ නොහොත් ස්වකීය ඇල්ම වලින් මුලා වී ගීයවුන්ටත් ඔබ රජාණන් වන සේක්වා. එකම බැටළු රැලක් ද එකම එඬේරෙක් ද වෙන සැටියට සත්‍යතාවයෙත් විශ්වාසයෙත් එකත්වයෙත් වරායට ඔවුන් ගෙන්නුව මැනව.
ස්වාමිනි, ඔබගේ ශුද්ධ වූ සභාවට ස්ථිරවූ ද, බාධා නැති වූ ද, නිදහස දුන මැනව. සියලු දේශ ජනයන්ට නිසි ක්‍රමය හා සමාදානය දෙවා වදාළ මැනව. මේ ලෝකයේ සීමාවෙන් සීමාවට සෑම තැන්හි අපට ගැලවීම සම්පාදනය කළ දිව්‍ය හෘදයට ප්‍රශංසා ලැබේවා. උන් වහන්සේට මහිමයත් ගෞරවයත් සදා කල්හි ලැබේවායි සමස්තයෝ එකම ශබ්දයෙන් කියත්වා. ආමෙන්.